සුනඛ සුරතලෙකු සිටීමේ වාසි 6 ක්

බල්ලෙකු සිටීමෙන් බොහෝ වාසි ඇත, ඇත්ත වශයෙන්ම එය ඔබට අමතර ව්‍යායාම සහ ජීවිතයට හොඳම මිතුරෙකු වැනි ප්‍රථිලාබ ලබා දෙයි, ඔවුන්ට ඔබේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිය!

සුනඛයන් මිනිසාගේ හොඳම මිතුරා බව බොහෝ දුරට දන්නා කරුණකි. ඔවුන්ගේ සිත් ඇදගන්නා සුළු මුහුණු සහ ප්‍රීතිමත් ආකල්ප නිසා අපගේ ජීවිත ප්‍රීතියකින් පිරී යයි. නමුත් එයටත් වඩා සුනඛයෙකු ඇති කිරීමෙන් බොහෝ වාසි ඇති බව ඔබ දැන සිටියාද? නව පුද්ගලයින් හමුවීමට ඔබට උදව් කිරීමේ සිට, ඔබේ බලු පැටියාට ඇත්ත වශයෙන්ම ඔබේ සෞඛ්‍යය හා සමාජ ජීවිතය වැඩිදියුණු කිරීම දක්වා බොහෝ දේ කළ හැකිය. වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යද? බල්ලන්ගේ වාසි සොයා ගැනීමට දිගටම කියවන්න!

බල්ලන් සමඟ ජීවිතය වඩා හොඳය

නැවුම් උදෑසනක ඔබේ කකුල් හතරේ මිතුරා සමඟ පා ගමනක් යාම තරම් වෙනත් කිසිවක් තිබෙනවාද?. ඔබ බෝලයක් අතට ගත් විට දැන් ඇත්තේ සෙල්ලම් වෙලාව බව දැන ඔවුන්ගේ මුහුණු ප්‍රීතියෙන් පිනා යනු දැකීම තරම් වෙනත් සතුටක් කොයින්ද? එකිනෙකාගේ සමාගම තුළ නිවසේ විවේකීව සිටීම පවා ප්‍රීතිමත් හැඟීම් ගෙන දේ යැයි පැරණි කියමනක් ඇත, එය නිසැකවම සත්‍යයකි. බල්ලන් ඔබ ඔවුන්ට දුන් ආදරය දස ගුණයකින් ආපසු ලබා දේ. ඔබ සුනඛයෙකු හදා වඩා ගැනීමට පෙර, එය ඉතා හොඳින් සිතා බැලීම වැදගත්ය. සුනඛයෙකු රැකබලා ගැනීම වෙහෙස මහන්සි වී කළ යුතු දෙයක් වන අතර එය ජීවිත කාලය පුරාම කළ යුතු කැපවීමකි. මන්ද ඔබේ සුරතලා ඉදිරි වසර ගණනාව පුරාම ඔබ මත විශ්වාසය තබනු ඇත. ඔබේ ජීවිතයට බලු සුරතලෙකු ඇතුළත් කිරීමට ඔබට කාලය සහ නිදහස ඇති බව තහවුරු විය යුතුය. 

බල්ලෙකු සිටීම ඔබට ක්‍රියාශීලීව සිටීමට උපකාරී වේ

බල්ලෙකු ලැබීමේ එක් ප්‍රධාන වාසියක් නම්, ඔබ නිතිපතා කරන ව්‍යායාම ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වීමයි. මේ ගැන සිතා බලන්න. තනිවම ඇවිදීමට අපව පොළඹවා ගැනීම දුෂ්කර විය හැකි නමුත්, අපගේ බලු පැටියාට ව්‍යායාම අවශ්‍ය බව අප දන්නා විට, අපි බොහෝ විට දෙවරක් නොසිතන්නෙමු.

ඔබේ බල්ලා සමඟ ක්‍රීඩා කිරීම පවා ව්‍යායාමයක් ලෙස ගණන් ගත හැක. ඔබේ සුනඛයා වටේට දුවමින් සිටියද, ‘ යමක් විසිකර රැගෙන ඒම’ ක්‍රීඩාවෙන් පසු ඔබට කොතරම් වෙහෙසක් දැනෙනවාදැයි ඔබ මතක ඇති. සුනඛයින්ගේ ලොකුම වාසිය වන්නේ වඩාත් ක්‍රියාශීලී වීමට ඔවුන් ඔබව දිරිමත් කරන ආකාරයයි. එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍යයටද හිතකර වේ.

බල්ලෙකු සිටීම නව මිතුරන් ඇතිකර ගැනීමට හොඳ ක්‍රමයකි

සුනඛයින්ගේ අනපේක්ෂිත වාසියක් වන්නේ ඔවුන් ඔබේ සමාජ ජීවිතයට නව පුද්ගලයන් එකතු කරන ආකාරයයි. පුහුණු පන්තිවලට යාම මඟින් බොහෝ නව මිතුරන් ඇති වේ. ඔබේ සුනඛ සගයා සමඟ ඔබ පාරේ යන විට ඔබට ‘හෙලෝ’ කියමින් – ඔබේ බල්ලා හා ඔබව පසු කර යන්නන් බොහෝය

ඔබගේ නව බලු පැටියා ඔබව ගෙයින් පිටතට ගෙන යනු ඇත. ඔබ මීට පෙර නොසිතූ නව අත්දැකීම් ඔබට ලබා දෙනු ඇත. ඔබ සුරතල් සත්ව සාප්පුවකට ගියත්, ඔබේ බල්ලාගේ දෛනික ඇවිදීම වඩාත් සිත්ගන්නාසුළු කිරීම සඳහා නව ප්‍රදේශයක් ගවේෂණය කළත්, ඔබට සැමවිටම නව පුද්ගලයින් දැකීමට වනු ඇත. ඔබ තනියම ඇවිදින විට ආගන්තුකයෙකු සමඟ කතාබස් කිරීමට නතර වීමට ඔබට හැකියාවක් නැත, නමුත් අපගේ සුනඛ සුරතලුන්ට නව මිතුරන් ඇති කර ගැනීමට අවශ්‍ය වූ විට එය කිරීම කොතරම් පහසුදැයි අපි කවුරුත් දනිමු.

ඔබේ රුධිර පීඩනය සඳහා බල්ලන් විශිෂ්ඨ වේ.

සුනඛයින්ගේ වඩාත් සිත්ගන්නාසුලු වාසියක් වන්නේ අපව සන්සුන් කරවීමට ඔවුන්ගේ පුදුමාකාර හැකියාවයි. එය අපගේ සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කරයි. හාවඩ් විශ්ව විද්‍යාලයට අනුව, අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ සුනඛ හිමිකරුවන්ට අඩු රුධිර පීඩනයක් ඇති බවයි. ව්‍යායාම වැඩිවීම නිසා මෙන්ම ඔබ හුදෙක් ඔබේ සුරතලාව සුරතල් කරන විට පවා රුධිර පීඩනය අඩු වන බව එහිදී සොයාගෙන ඇත. අපගේ රුධිර පීඩනය ඇත්ත වශයෙන්ම අපගේ යහපැවැත්මට ද විශාල බලපෑමක් ඇති කරන බව ඔබ දනී. එබැවින් ඊළඟ වතාවේ ඔබට ආතතියක් දැනෙන විට හෝ විවේකීව සිටීමට යම් කාලයක් අවශ්‍ය වූ විට ඔබේ බල්ලාට සෙල්ලම් බඩු ටිකක් දෙන්න – ඔබ දෙදෙනාටම එහි ප්‍රතිලාභ දැනෙනු ඇත!

බල්ලන් විශිෂ්ඨ සහකරුවන් වේ

බල්ලෙකු අයිති කර ගැනීමේ වඩාත්ම කැපී පෙනෙන වාසියක් නම්, ඔබේ බල්ලා ඔබ සමඟ සිටින විට තනිකමක් දැනීම කිසි සේත් සිදු නොවීමයි. බොහෝ සුනඛයන් ඉතා සමාජශීලී වන අතර, ඔවුන්ට සුනඛයන් හෝ මිනිසුන් වේවා, ඕනෑම අයෙකු ඇසුරු කිරීමට ආසා කරයි. ඔබේ රැකියා ජීවිතයෙන් පසු ගෙදර එන විට ඔබේ සුනඛයා ඔබට ආචාර කරන ආකාරයෙන් ඔබ ඔබේ ජීවිතයට වටිනා මිතුරකු සිටින බව දනී.

ඔවුන් අපට වටිනා කුසලතා උගන්වයි

සුනඛ පුහුණුව සඳහා කාලය, උත්සාහය සහ ඉවසීම අවශ්‍ය බව සුනඛ හිමිකරුවන් දනිති. නමුත් බල්ලෙකු සිටීම විසින් අපට උගන්වන එකම දේවල් ඒවා නොවේ. එළිමහනේ විනෝද වීමේ සිට ජීවිතයේ කුඩා කුඩා දේවල් අගය කිරීම දක්වා, අපේ බල්ලන් අපව ආදර්ශයෙන් මෙහෙයවයි. කුඩා දරුවන්ට වගකීම ගැන බොහෝ දේ උගන්වන බැවින් සුනඛයන් හා දරුවන් යනුද හොඳ සුසං‍යෝගයකි. ඔබේ සුනඛයා පිලිබඳ එක්තරා අංගයක් සඳහා ඔබේ දරුවා වගකිවයුතු බවට දරුවාට ඉගැන්වීමට උත්සාහ කරන්න – එනම් සවස් වරුවේ සුරතලාට කෑම දීම හෝ රාත්‍රියේදී ඔහුගේ දත් මැදීම වැනි වගකීමක් දරුවාට දෙන්න (සියල්ල ඔබම අධීක්ෂණය කරන්න!). වෙනත් ආකාරයකින් ඔබ ඉගෙන ගත නොහැකි වටිනා ජීවන කුසලතා දරුවාට ලැබෙනු ඇත.

Photo by Matheus Bertelli from Pexels

මූලාශ්‍ර : https://www.purina.co.uk/dogs/getting-a-new-dog/finding-the-right-dog-for-me/benefits-of-having-a-dog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *